ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. එම දිස්ත්‍රික්කවල පරිපාලන ඒකකවල පරිපාලන බලධරයා වන්නේ දිස්ත්‍රික් ලේකම් වන අතර සෑම පරිපාලන දිස්ත්‍රක්කයක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් ඒවා නැවත ග්‍රාම නිලධාරී වසම් වශයෙන් ද බෙදා පරිපාලන කටයුතු විමධ්‍යගත කොට ඇත. ශ්‍රී ලංකාව, ජනරජයට අයත් දේශීය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්ද දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක 25 හි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය; එසේ වුවද පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මඟින් තීරණය කරනු ලබන පරිදි, ඒ පරිපාලන දිස්ත්‍රික්ක ඒවාට වෙනස් වූ පරිපාලන දිස්ත්‍රික්ක සංයුක්ත වන පරිදි නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් බිහිදොරට පිවිසීමට

බස්නාහිර පලාතේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන කොළඹ දිස්ත්‍රික්කය වර්ග කි.මී. 675කින් යුක්තය. මෙහි මායිම් වශයෙන් උතුරින් කැළණි ගඟද, දකුණෙන් පානදුර බොල්ගොඩ ගඟද, බස්නාහිරින් මුහුදු තීරයද, නැගෙනහිරින් සබරගමු පලාත් මායිම්ද සීමා මායිම් කොට ගෙන පිහිටා ඇත. ලංකාවේ අගනුවර පිහිටි දිස්ත්‍රික්කය වන මෙහි ජනගහනය 2309199 ක් ජීවත්වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කින් සමන්විත වේ. රාජ්‍ය අමාත්‍යාංශ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් මෙහෙය වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරය වන අතර බස්නාහිර පළාත් සභාව සමගද සෘජු සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමද ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධන කටයුතු මෙන්ම ආර්ථික, සමාජ, සංස්කෘතික හා සුබසාධන කටයුතු ද අමාත්‍යාංශ වලින් ලැබෙන ප්‍රතිපාදන ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන අතර එමඟින් ජනතාවගේ ජීවන තත්වය ඵලදායී ලෙස නංවාලීම දැනට ක්‍රියාත්මක කොළඹ දිස්ත්‍රික් සංයුක්ත සැලැස්මේද ප්‍රධාන අරමුණ බවට පත්කර ඇත. කොළඹ දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ 13කින්  සහ පලාත් පාලන ආයතන 15 කින් සමන්විතය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ගම්පහ දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික් පනතේ 3 වන ජේදය යටතේ 1978 සැප්තැම්බර් මස 07 වන දින ගැසට් නිවේදනය මඟින් නව දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුණි. මෙය කොළඹ දිස්ත්‍රික්කය නැවත බෙදීමෙන් වෙන් කරන ලද පාලන ප්‍රදේශයකි. ගම්පහ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ අග්‍රා ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන යනු ලබන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලස්ථානය කේන්ද්‍රකර ගත් උතුරින් මා ඔයෙන්ද (කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක) නැගෙනහිරින් මීටර් 100-200 උසකින්ද විහිදී යන වැටි හා නිම්න වලින්ද (කෑගල්ල දිස්ත්‍රික්කය) දකුණින් කැළණි ගඟ මායිම් වන කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, බටහිර ඉන්දියන් සාගරයෙන්ද, මායිම් වූ කිලෝ මීටර 45 දිගින් හා පළලින් යුත් හතරැස් බිම් කඩක් වශයෙන් පිහිටා ඇත. සංස්කෘතික, දේශපාලන හා අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි ගම්පහ දිස්ත්‍රික්කයට අද්විතීය ස්ථානයක් හිමි වෙයි. දිවයිනේ අග නගරය හා ජාත්‍යන්තර වරායට මුවදොර පිහිටි ගම්පහ දිස්ත්‍රික්කය නිෂ්පාදන කර්මාන්ත කේන්ද්‍ර කරගත් නිදහස් වෙළඳ කලාප, සංචාරක ව්‍යාපාරය සම්බන්ධවද ජාත්‍යන්තර ගුවන් තොටුපල, දුම්රිය හා මහා මාර්ග මෙන්ම විදුලි බලය හා දුරකථන වැනි යටිතල පහසුකම් අතින්ද විශේෂ වැදගත් කමක් උසුලයි. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර 1,387 (හෙක්ටයාර 139,140) භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර කොළඹ දිස්ත්‍රික්කය මෙන් දෙගුණයක් විශාලත්වයක් දරයි. බස්නාහිර පළාතේ මුළු බිම් ප්‍රමාණයෙන් 38% හා ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% ආවරණය වේ. උතුරු අක්ෂාංශ 6 54”5 සහ 7 20 අතර හා නැගෙනහිර දේශාංශ 79 48.75 සහ 80 13 අතර පිහිටා ඇත. ගම්පහ දිස්ත්‍රික්කය 21.6C අවම උෂ්ණත්වයකින්ද 37C උපරිම උෂ්ණත්වයකින්ද මිලි මීටර් 1,750 පමණවූ සාමාන්‍ය වර්ෂාපතනයකින්ද (හෙනරත්ගොඩ 2,477 මිලි මීටර්) යුතු උෂ්ණ තෙත් කලාපීය දේශගුණයක් විදහාපාන භූමි ප්‍රදේශයකි.වැසි ලැබෙන්නේ අන්තර් මෝසම් සුළඟ සහිත කාල පරිච්ඡේදයේ හා නිරිත දිග මෝසම් සුළං කාලයේදීය.ජනවාරි සිට අප්‍රේල් මාස අතර කාලය දිස්ත්‍රික්කය පුරා වියළි දේශගුණයක් පවතී. ගම්පහ දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙන උෂ්ණ තෙත් දේශගුණික තත්ත්වයන් මත තෙත් කලාපීය වෘක්ෂලතා ලක්ෂණ ඇතිවන ප්‍රදේශ හා වගුරු බිම් ආශ්‍රිත කඩොලාන වනාන්තර දැකිය හැක.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

බස්නාහිර පළාතේ පිහිටි කළුතර දිස්ත්‍රික්කයේ සාපේක්ෂ පිහිටීම සලකන විට උතුරින් කොළඹ දිස්ත්‍රික්කයටත්, නැගෙනහිරින් රත්නපුර දිස්ත්‍රික්කයටත්, දකුණින් ගාල්ල දිස්ත්‍රික්කයටත්, බටහිරින් සාගරයටත් මායිම් වේ. එහි නිරපේක්ෂ පිහිටීම දළ වශයන් උතුරු අක්ෂාංශ 60 191 3011 - 60 491 3011 සහ නැගෙනහිර දේශාංශ 790  511 3011 - 800  221  4511 වශයෙන් දැක්විය හැකිය. කෝරළ දෙකකින් , පත්තු අටකින් හා තොටමුණු දෙකකින් යුත් කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර සීමාව මධ්‍යම කඳුකරයෙන් පහත් වී එන කඳුවැටියට සම්බන්ධ වූ කඳුගැට කිහිපයකින් හා රැලි සහිත බිමෙන් යුතු වේ. මධ්‍යම කොටස හා බටහිර සීමාව වැඩි වශයෙන් තැනි බිම් සහිත වේ. නැගෙනහිර සීමාවෙන් ඇරඹෙන කළුගඟ හා බෙන්තර ගඟත්, අතු ගංඟා වන හික් ගඟ හා කුඩා ගඟත් මාවක් ඔයත් ප්‍රධාන වශයෙන් ජල ප්‍රවාහන රටා නිර්ණය කරයි. දිස්ත්‍රික්කයේ භූමි පරිහරණයෙන් වැඩි කොටසක ව්‍යාප්තව පැවති රබර් වගාවේ පරිහානියත් සමඟ දිස්ත්‍රික්කයේ කඳු සහිත කොටසට සීමා වී පැවති තේ වගාව දිස්ත්‍රික්කය පුරා වර්ධනය වීමක් සිදුවෙමින් පවතී. මීට අමතරව පොල්, කුරුඳු ගම්මිරිස් වැනි අපනයන බෝග වගාවන් මධ්‍ය කොටස්වල වේ. තැනිතලා සහ පහත් බිම් වල වී වගාව ව්‍යාප්තව ඇති අතර දිස්ත්‍රික්කයේ ගිණිකොණ දෙසින් පිහිටි සිංහරාජ වනය වනාන්තර ලක්ෂණ පිළිබිඹු කරයි. ඓතිහාසික අගයන් ඔපවත් කරන නටඹුන් අතර බුලත්සිංහල, පාහියංගල, පිහිටි ලෙන බලංගොඩ මානවයාගේ කාලීනයන් විසූ බවට කැනීම් තුලින් සාධක ලබා ගෙන ඇත. දෙවන පෑතිස් රජ දවස රෝපණය කරන ලද තිස්දෙකක් වූ බෝ පැලවලින් එකක් ලෙසට කළුතර බෝධිය හා චෛත්‍යය ශ්‍රී ලාංකික බෞද්ධ, අබෞද්ධ බැතිමතුන්ගේ මෙන්ම විදේශ සංචාරකයින්ගේ ද භක්ත්‍යාදරයට පත් ඉපැරණි සිද්ධස්ථානයකි

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

මධ්‍යම පළාතේ ප්‍රධානතම දිස්ත්‍රික්කය වන මහනුවර දිස්ත්‍රික්කය උතුරට මාතලේ දිස්ත්‍රික්කයෙන් ද නැගෙනහිරට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද දකුණට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බස්නාහිරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ද මායිම්ව පිහිටා ඇත. දිස්ත්‍රික්කයට සම්පතක් වී ඇති සමනළ අඩවියේ උපන් මහවැලි නදිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඔස්සේ ඟඟවට කෝරලේ, කුණ්ඩසාලේ උඩ පළාත, දොළුව, උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බැස පසුව දිස්ත්‍රික්ක මායිමෙන් ගලා ගොස් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා බදුල්ල දිස්ත්‍රික්කයට වැටේ. ප්‍රාදේශිය ලේකම් කාර්යාල 20ක්ද ප්‍රාදේශීය සභා 17ක්ද ග්‍රාම නිලධාරී කොට්ඨාස 1188 කින්ද සමන්විත වේ. මනහර කඳුවැටි හා නිම්න භූමි වලින් සැඳුම්ලත් මහනුවර දිස්ත්‍රික්කය මධ්‍යම කඳුකරයේ වර්ග කිලෝමීටර් 1940ක භූමි ප්‍රමාණයක් වසා පැතිරී ඇති මනරම් භූමි භාගයකි. මහවැලි ගංඟාවට දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වලින් ගලා එන ජල ධාරාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් එක් වේ. මීට අමතරව දැදුරු ඔයේ ආරම්භක ජල ධාරා ආරම්භවන්නේ ද පුජාපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනි. දිස්ත්‍රික්කයේ යටිනුවර හා උඩු නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල බටහිර බෑවුමෙන් ගලා යන ජලධාරා මා ඔයට එක් වී එහි ජලධාරාව වැඩි කරයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ලෙස සැලකෙන මාතලේ දිස්ත්‍රික්කය විශාලත්වයෙන් ව.කි.මි.1993.3 කින් සමන්විත වේ. මධ්‍යම පළාතේ උතුරු කොටස නියෝජනය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කයට උතුරෙන් අනුරාධපුරය ද නැගෙනහිරින් පොලොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්ක මායිම් වේ. දිවයිනේ ස්වභාවික සම්පත් වලින් අනූන ප්‍ර‍දේශ වලින් එකකි. ලොව අති විශිෂ්ට නිර්මාණයක් වූ සීගිරිය ද සොබා දහමේ අපූර්වතම දායාදයක් වන නකල්ස් කඳු වැටිය ද පිහිටි මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුනු ගම්මාන 1373 කින් සමන්විත ලක්ෂ 04 කට අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි. කඳුකර පද්ධතියට අයත් කොට්සයිට්ල පියුම් ඛන්ඩිත නයිස්, ග්‍රනයිට්, කැලික්නයිස්, ස්ඵටික හුණූගල් ඩොලයිට් හා කොණ්ඩලයිට් වර්ගයට අයත් ගානට්, සිලමනයිට්, ෂිස්ට් හා ග්‍රැපයිට් යන පාෂාණ වලින් මාතලේ දිස්ත්‍රික්ක‍ය සමන්විත වේ. දිස්ත්‍රික්කයේ වනාන්තර ව්‍යාප්තිය ද සංකීර්ණය. එහි මධ්‍ය නිරිත හා බටහිර ප්‍රදේශ කඳුකර තෙත් කලාපීය වනාන්තර ද උතුරු හා ලග්ගල - විල්ගමුව ප්‍රදේශ පහතරට වියළි කලාපීය වනාන්තර වලින්ද සමන්විත වේ.ප්‍රධාන මෝසම් සුළං වර්ෂා 2 මඟින්ම වර්ෂාව ලැබුවත් වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළං මඟිනි.නකල්ස් කඳු වැටිය අසල පුළුල් ජෛව විවිධත්වයක් පෙන්නුම් කරන  අතර මෙය ලංකාවේ ප්‍රධාන දායාදයක් ලෙස සැලකිය හැකිය. හෝටන් තැන්නට බොහෝ සෙයින් සමාන එහෙත් විශාල නොමැති පතනයක් පිටවල ආශ්‍රිතව පිහිටා ඇති අතර කුඩා ලෝකාන්තයද එහි එක් කෙලවරක පිහිටා ඇත.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාවේ පියස්ස යැයි විරුදාවලි ලබන නුවරඑළිය දිස්ත්‍රික්කය මහනුවර, බදුල්ල, කෑගල්ල, හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට මායිම්ව, මධ්‍යම පලාතේ පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 900 සිට අඩි 8000 දක්වා උසට විහිදී යන ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද මෙන්ම කිරිගල් පොත්ත කන්ද, කොටුපොල කන්ද, කිකිළියාමාන කන්ද, ග්‍රේඩ් වෙස්ටන් කන්ද, හග්ගල කන්ද හා අති පූජණීය සමනල කන්ද ආදී කඳු පන්තිද නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. එසේම ලක්ෂපාන ඇල්ල, ඩෙවෝන් ඇල්ල, ඇල්ජින් ඇල්ල, සෙන්ට් ක්ලේයා ඇල්ල, රම්බොඩ ඇල්ල, බේකස් ඇල්ල, කුරුඳු ඇල්ල, ගැරඬි ඇල්ල ආදියත් මහවැලි හා කැළණි ගංඟාවල ආරම්භයත් එසේම දෙස් විදෙස් ප්‍රචලිත හෝර්ටන් තැන්න අභය භූමියත්, හග්ගල උද්‍යානයත් මෙහි පිහිටා තිබීම සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හේතුවී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයට  ප්‍රමුඛත්වයක් ගන්නා මාවුස්සා කැලේ, කාසල්රී, කැනියොන්, නෝර්ටන්බ්‍රිජ්, කොත්මලේ,රන්දෙණිගල යන ජලාශද, වික්ටෝරියා ජලාශයෙන් වැඩි කොටසක්ද පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළය. ජනගහනයෙන් 57.1% ක් පමණ ශ්‍රී ලංකා දෙමළ වන අතර, ඉතිරිය සිංහල හා අනෙකුත් ජාතීන්ගෙන් සමන්විත වේ. දිස්ත්‍රික්කයේ පවතින විශේෂිත දේශගුණික තත්වය කෘෂි කර්මාන්තයට හිතකර වන අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එළවළු බෝග වගාව සඳහාය.වර්ග කිලෝ මීටර් 1741 ක විශාලත්වයකින් යුක්ත මෙම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වර්ෂාපතනය අගල් 75 ක් පමණ වන අතර, ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශය (වටවල) මෙන්ම අවම උෂ්ණත්වය වාර්තා වන ප්‍රදේශයද (නුවරඑළිය) මෙම දිස්ත්‍රික්කය තුළ දක්නට ලැබීම විශේෂත්වයකි. දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, කොත්මලේ, වලපනේ වැනි ප්‍රදේශ හෙළ රජවරුන්ගේ ආරක්ෂක භූමි ලෙස පැවති අතර, එකල ඉදිවු රජ මහා විහාර ආදිය මේ දක්වා සුරක්ෂිතව පවතී, මෙහි ඉතිහාසය රාවණා යුගය දක්වා දුරාතීතයට පැතිර යන බවට ජනප්‍රවාද මෙන්ම ඉතිහාස වාර්තාද සාක්ෂි දරයි. ඉහත කී ලක්ෂණ වලින් හෙබි නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව,නුවරඑළිය, හඟුරන්කෙත, කොත්මලේ‍ හා වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකින් සමන්විතවේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19 හි ප්‍රාදේශීය පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය වන්නේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි. දකුණු පළාතේ අග නගරය වන ගාල්ල නගරය වර්තමානය වන විට ඉතා ජනප්‍රිය මෙන්ම ජනාකීර්ණ නගරයක් බවට පත් ව ඇති අතර වේගයෙන් සංවර්ධනය වන නගරයකි. 1091000 ක් වන ජනගහනයක් මෙහි ජීවත් වන අතර ඔවුන් ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඒවා සඳහා විසඳුම් ලබා දීමේ සම්බන්ධීකරණ වැඩ පිළිවෙල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ඉටු කරනු ලබයි. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතන සහ නිෂ්පාදන ආයතන ලෙස කටයුතු කරන සුවිසල් ගොඩනැඟිලි රාශියක් කේන්ද්‍ර කර ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ හදවත බඳු වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගාල්ල නගරය පුරා විරාජමාන වී සිටී. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළට හා ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයට සමීපව නවීන පන්නයේ සත් මහල් ප්‍රාසාදයක මෙම කාර්යාලය ස්ථාන ගත කර ඇත. මහජනතාවට තම සේවා අවශ්‍යතාවයන් සැණින් සපුරා ගත හැකි ලෙස ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක් මෙන්ම නවීන තාක්ෂණය අනුව කටයුතු කරමින් ඉක්මණින් මහජන අවශ්‍යාතාවයන් සපුරාදෙන ඉතා සුව පහසු දැකුම්කළු සේවා ආයතනයක් ලෙසද මෙය හැදින්විය හැකිය. මහජනතාවට සඵලදායී කාර්යක්ෂම සේවාවන් රැසක් එකම වහළක් යටින් ලබා දීමේ ඒකායන අරමුණින් මධ්‍යම රජයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ආයතන රාශියක් මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාන ගත කර ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළින් මහජනතාවට ලබා දෙන සේවාවන් සහ එම සේවාව ලබා දීමට ගත වන කාලය සඳහන් කරමින් සකසන ලද සේවාලාභී ප්‍රඥප්තිය කාර්යාල පරිශ්‍රයේ බිම් මහලේ ප්‍රදර්ශනය කර ඇත. නූතන පරිගණක තාක්ෂණය භාවිතා කරමින් වේගයෙන් කටයුතු කරන බැවින් සෑම නිළධාරියෙක්ම එම ප්‍රඥප්තියෙහි සඳහන් කාල පරාසය තුල ම තම සේවාව ඉටු කර දීමට බොහෝ සෙයින් උත්සුක වේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

දකුණුලක නිල්වලා නදිය අසබඩ මහ සයුරට මායිම්ව පිහිටි මාතර දිස්ත්‍රික්කය, රෝහණ පුරවරයේ ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට මැදිව පිහිටා ඇති වර්ග කිලෝමීටර් 1282.5ක් හෙවත් හෙවත් හෙක්ටයාර් 128,250ක භුමි ප්‍රමාණයක වපසරියකින් යුක්ත සශ්‍රීක වු ආකර්ශනීය භූමි ප්‍රදේශයකි. උතුරු අක්ෂාංශ අංශක 5.8ත් 6.4ත් අතර නැගෙනහිර දේශාංශ 80.4ත් 80.7ත් අතර පිහිටි මාතර දිස්ත්‍රික්කය මිලි ලීටර් 2553.2ක සාමාන්‍ය වර්ෂාපතනයකින් ද අංශක 26.7 සාමාන්‍ය උෂ්නත්වයකින් ද යුක්ත තෙත් කලාපීය දේශගුණයක් සහිත දිස්ත්‍රික්කයකි. ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 1.93% ක් අප දිස්ත්‍රික්කය සතුව ඇති අතර, දකුණු පළාතේ භූමි ප්‍රමාණයෙන් 23.14%ක් වශයෙන් මුළු බිම් ප්‍රමානය හැඳින්විය හැකිය. මාතර දිස්ත්‍රික්කය දකුණු වෙරළබඩ සිට උතුරේ අඩි 3880ක් දක්වා නැගීමක් පෙන්නුම් කරන අතර, උතුරේදී ලෝක උරුමයන් බවට පත්ව ඇති සිංහරාජ වනගහනයෙන් ආකර්ශනීය දිය ඇළි වලින් සමන්විත වේ. දකුණින් දර්ශනීය මුහුදු තීරයකින්ද, උතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන් ද බටහිර ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව, ඉමදුව, යක්කලමුල්ල, තවලම නෙළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන්ද නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල, බෙලිඅත්ත, කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ගෙන් ද මායිම්ව මාතර දිස්ත්‍රික්කය පිහිටා තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග සීමාව පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කය විශාලත්වයෙන් වර්ග කි.මී. 2609 කි. මෙය දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/25 පමණ වේ. දිස්ත්‍රික්කයේ උපරිම දිග කි.මී. 106 ක්ද උපරිම පළල කි.මී. 39 ක්ද වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත්වන වෙරළබඩ තීරයේ දිග කි.මී. 151 කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ව.කි.මී. 11.5 ක් පමණ අභ්‍යන්තර ජලාශ වලින් වැසී ඇත. අක්ෂාංශ හා දේශාංශ පිහිටීම අනුව උතුරට 6 සිට 6.5 දක්වාද නැගෙනහිර දේශාංශ 80.6 සිට 81.7 දක්වා ද විහිදී ඇත. උතුරට මොණරාගල හා රත්නපුර දිස්ත්‍රික්කවලින්ද බටහිර මාතර දිස්ත්‍රික්කයෙන්ද දකුණට ඉන්දියන් සාගරයෙන්ද නැගෙනහිරට ඉන්දියන් සාගරයෙන් හා අම්පාර දිස්ත්‍රික්කයෙන්ද මෙම දිස්ත්‍රික්කය මායිම් වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ස්වභාවධර්මයේ සුවිශේෂි දායාදයන් වන තංගල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ පිහිටි හුම්මානය හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් පිහිටි උණු දිය උල්පත් හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසන්ගොඩ ප්‍රදේශය මෙරට දක්නට ඇති දුර්ලභ භූ විද්‍යාත්මක ලක්ෂණයන්ය. අම්බලන්තොටින් ඔබ්බෙහි පිහිටි මදුනාගල නම් සුපතල ආරණ්‍ය සේනාසනයට නුදුරින් මේ උණුදිය උල්පත් පිහිටා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලවහන රටාව ප්‍රධාන ගංගා සහ ස්වභාවික ජල මාර්ග 19 ක් පිහිටා ඇත. මේ අතරින් වලවේ ගඟ, කිරිඳි ඔය, මැණික් ගඟ, ඌරුබොකු ඔය, හා කච්චිගල්ආර මෙන්ම දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමේ පිහිටි කුඹුක්කන් ඔය ද ප්‍රධාන ජල මාර්ග වේ. මාස් කන්නය හෙවත් ඊසාන දිග මෝසම් කාලයේදී (නොවැ - මාර්තු) මෙම ගංඟාවල ජල මට්ටම ඉහළ යන අතර මාස් කන්නය හෙවත් නිරිත දිග මෝසම් කාලයේදී (මැයි - සැප්තැම්බර්) ජල මට්ටම පහත බසී. දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන වැව් හා අභ්‍යන්තර ජලාශ 13 න් විශාලතම වැව රිදියගම වැව වුවද වැඩිම ජල ධාරිතාවක් අඩංගු වන්නේ මුරුතවෙල හා ලුණුගම්වෙහෙර යන ජලාශ වලය. වැඩි වැව් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශය ආශ්‍රිතවය. දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වශයෙන් වාරිමාර්ග සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් පසුගිය අවදියේ ක්‍රියාත්මක වී ඇත. උඩවලව සංවර්ධන ව්‍යාපාරය, කිරම ඔය ව්‍යාපාරය, ඌරුබොකු ඔය ව්‍යාපාරය, ලියන්ගස්තොට ව්‍යාපාරය, රිදියගම ව්‍යාපාරය, ලුණුගම්වෙහෙර ව්‍යාපාරය, මව්ආර ව්‍යාපාරය සහ කැකිරිඕබඩ ව්‍යාපාරය මේවා අතර වේ. දිස්ත්‍රික්කයේ ඇති ගොවි ජනපද ව්‍යාපාර වශයෙන් මහගල් වැව, බඳගිරිය, බැරගම හා මුරුතවෙල ව්‍යාපාර දැක්විය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ උතුරු අග පිහිටි යාපනය දිස්ත්‍රික්කය කොළඹ සිට කී.මී. 410 කට එපිටින් පිහිටා ඇත. එය අර්ධද්වීපයකින් හා ජනයා වාසය කරන දිවයින් 07කින් සමන්විත වෙයි. දිස්ත්‍රික්කයේ උතුරු නැගෙනහිර හා බටහිර මායිම් වන්නේ ඉන්දියන් සාගරයට වන අතර දකුණින් යාපනය කලපුව හා කිලිනොච්චි දිස්ත්‍රික්කය වෙයී. දිවයිනද ඇතුළුව මුළු භූමි ප්‍රමාණය වර්ග කී.මී. 1012.01 වන අතර යාපනය දිස්ත්‍රික්කය උප කොටස් හතරකට බෙදා ඇත. ඒවා නම් දිවයින්, වලිකාමම්, තෙන්මරච්චි හා වඩමාරච්චිය. දිස්ත්‍රික්කය පුරා පොකුණු 1084ක් හා අඟල් 2433ක් විසිරී පවතින අතර ඒවා වැසි ජලය සංරක්ෂණය කිරීමේ මාර්ග සහිත ඒවාය. අතිරික්ත ජලය ඉතා පහසුවෙන් මුහුදට / කලපුවට ගලායයි.මුහුදු මට්ටමේ සිට ඇති උස මෙපරිදිය. පේදුරුතුඩුව මී.15.24,මයිලිඩ්ඩි මී.10.8,චන්කනෙයි මී.3.04,කොකුවිල් මී.6.09.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාවේ වයඹ දෙසින් උතුරට මන්නාරම දිස්ත්‍රික්කය පිහිටා ඇත. දිස්ත්‍රික්කයේ දකුණු දිශාවෙන් පුත්තලම දිස්ත්‍රික්කයද, ගිණිකොන දිශාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයද, නැගෙනහිර දිශාවෙන් වවුනියා දිස්ත්‍රික්කයද, ඊසාන දිශාවෙන් මුලතිව් දිස්ත්‍රික්කය හා උතුරු දිශාවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයද මායිම් ලෙස පිහිටා ඇත. තිරුකේදීශ්වරම් කෝවිළ, මරඳ මඩු දේවස්ථානය, ඕලන්ද කොටුව, ආරිප්පු කොටුව, ආරුප්පු අල්ලිරාණි කොටුව, රාමා (ආදම්ගේ) පාලම, වැල් පාලම, බයෝබැබ් ගස හා ප්‍රදීපාගාරය දිස්ත්‍රික්කය තුළ වැදගත් ස්ථාන හඳුන්වා දිය හැකිය. මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වශයෙන් කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය හැඳින්විය හැකිය. 70% ක් කෘෂිකර්මය, 25% ක් ධීවර, 5% ක් වෙනත් රැකියාවල නිරත වන අතර 61.4% වී වගා කටයුතු වල යොමු වී සිටියි. ඉහත ආර්ථික කටයුතු සිදු කරනු ලබන පිරිමින් 70.5%ක් පමණ සිටී. වයස අවුරුදු 35 -39 දක්වා පිරිමින්ද, වයස අවුරුදු 25-29 අතර කාන්තාවන්ද, 5%ක් කිසිඳු රැකියාවක් නොමැතිවද සිටී.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

මෙම දිස්ත්‍රික්කය නැගෙනහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයටද, මුලතිව් දිස්ත්‍රික්කයටද, උතුරින් මුලතිව් දිස්ත්‍රික්කයට ද, බටහිරින් මන්නාරම දිස්ත්‍රික්කයටද, මුලතිව් දිස්ත්‍රික්කයේ කොටසකට ද, දකුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද සීමා වී ඇත. ප්‍රසිද්ධ ඒ-9 මාර්ගය, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන දුම්රිය මාර්ගයෙන් ද කොළඹ කොටුව සිට තලෛයිමන්නාරම් දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද මෙම දිස්ත්‍රික්කය හරහා පිහිටා ඇත. කනකරායන් කුලම් ආරු, පාලි ගඟ, පරංගි ගඟ යන ප්‍රධාන ගංඟාවන් ද වෙනත් අතු ගංඟාවන් ද මෙම දිස්ත්‍රික්ක හරහා ගලා බසී. ජල සම්පත් හා සාරවත් පසින් යුතු වවුනියා දිස්ත්‍රික්කය භූගෝලීය පිහිටීම අනුව කුඩා පරිමාණයේ පාෂාණ ස්ථරයකින් සමන්විතයි. මෙම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් බවට පත් වුවද කුඩා ප්‍රමාණයේ කර්මාන්තයන් වන ඇගළුම් නිෂ්පාදන, සත්ව පාලනය, වෙළදාම, යනාදි කර්මාන්තයන් ද පවත්වාගෙන යයි. අවශ්‍ය ප්‍රමාණයන්ටත් වඩා අධික ලෙස එකතුවන කිරි නිෂ්පාදනයෙන් වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් පිට දිස්ත්‍රික්ක වලට යවනු ලැබේ. වී නිෂ්පාදනයෙන් මෙම දිස්ත්‍රික්කය ස්වයංපෝෂිත වු අතර අතිරේක නිෂ්පාදන වන වී සහ සහල් වශයෙන් වෙනත් දිස්ත්‍රික්කවලට රැගෙන යනු ලැබේ. දිස්ත්‍රික්කය තුල සමහර ප්‍රදේශවල ඇල දොළ ගංඟාවන්හි කුඩා ප්‍රමාණයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය පවතින අතර විශාල වශයෙන් මුහුදු මාළු මන්නාරම්, මුලතිව්, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල සිට වවුනියාවට රැගෙන එනු ලැබේ. කෘෂිකර්මාන්තය, කුඩා පරිමාණ කර්මාන්තයන් වන පශු සම්පත් සත්ව පාලනය, වෙළදාම මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයන් වේ. රාජ්‍ය සේවයෙහි නියැලෙන නිලධාරින් මෙම දිස්ත්‍රික්කයේ ස්ථීර පදිංචි කරුවන් වේ.විවිධ වර්ගයේ මූල්‍යායතන වල ක්‍රියා කලාපයන් මෙම දිස්ත්‍රික්කයේ ඉතා විශිෂ්ඨ අන්දමින් පවත්වාගෙන යයි.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

1979 වර්ෂයේ දී අලුතින් පිහිටුවන ලද දිස්ත්‍රික්ක වලින් මුලතිව් දිස්ත්‍රික්කය එකක් ලෙස හැඳින්විය හැකිය. මන්නාරම, ත්‍රිකුණාමලය හා වවුනියා යන දිස්ත්‍රික්කවල කොටස්වලින් සමන්විත මෙම නව දිස්ත්‍රික්කය ප්‍රධාන වශයෙන් උතුරු පළාතේ නැගෙනහිර කොටස අඩංගු ප්‍රදේශයයි. මුලතිව් දිස්ත්‍රික්කයේ මායිම් වනුයේ උතුරින් කිලිනොච්චි දිස්ත්‍රික්කයද, දකුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයද, වවුනියා දිස්ත්‍රික්කය හා මන්නාරම් දිස්ත්‍රික්කයේ කොටසක් ද, බටහිරින් මන්නාරම් දිස්ත්‍රික්කය ද නැගෙනහිරින් මුහුද ද වේ. මෙම දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය දළ වශයෙන් වර්ග කි.මී.25169ක් වන අතර (වනාන්තර ඇතිව හා විශාල අභ්‍යන්තර ජල ප්‍රදේශ හැර) රටේ භූමි ප්‍රමාණයෙන් 3.8%කි. සමතලා වු මෙම ප්‍රදේශය උතුරු හා නැගෙනහිර දෙසට බෑවුම් ව ද බටහිර දෙසින් , දකුණ හා බටහිර දෙසට බෑවුම් ව ද පිහිටා ඇත.මෙම දිස්ත්‍රික්කයේ මුහුදු තීරය කි.මී.70ක් වන අතර, කෝකිලායි, නයාරු,නන්දිකඩාල් හා මාතලන් නැමැති ඉස්සන් බහුල කලපු හතරකින්ද සමන්විතය. මෙම දිස්ත්‍රික්කය මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස මීටර් 36.5ක් දක්වා වෙනස් වේ.ප්‍රදේශයේ පිහිටි රතු, දුඹුරු, මෙන්ම රතු, කහ පැහැති ලැටෝ වර්ගයේ පස වගාවට ඉතාමත් සුදුසු වේ. මෙම දිස්ත්‍රික්කයේ ඉඩම් හෙක්ටයාර් 251,690ක වනාන්තර ලඳු කැලෑ, කෘෂි බිම්, පොල් වගාව, ජනාවාස සහ ගොඩනැගිලි වැනි විවිධ කටයුතු සඳහා භාවිතා වේ. මෙයින් වනාන්තර වශයෙන් හෙක්ටයාර් 167,850ක් එනම් දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 64.1%කි. ජලයෙන් යට වී ඇති ප්‍රදේශ හා මුඩුබිම් වශයෙන් හෙක්ටයාර් 21,390ක් එනම් දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 5.2%ක් වශයෙන් ද, කෘෂි කර්මය සඳහා හෙක්ටයාර් 44,040ක් එනම් දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 5.1%ක් ද, ඉතිරි ප්‍රමාණය ජනාවාස හා ගොඩනැගිලි සඳහා ද භාවිතා වේ. මෙම දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වාරිමාර්ග 03ක් ද මධ්‍ය ප්‍රමාණයේ වාරිමාර්ග 16ක් ද කුඩා ප්‍රමාණයේ වාරිමාර්ග 198ක් ද පිහිටා ඇත.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

යාපනය දිස්ත්‍රික්කය සමග ඒකාබද්ධව තිබූ කිළිනොච්චි ප්‍රදේශය නව දිස්ත්‍රික්කයක් ලෙස 1984 වන වර්ෂයේ පෙබරවාරි මස 3 වන දින ස්ථාපිත කරන ලදි. කිළිනොච්චිය කරඩිපෝක්කු හන්දියේ තිබෙන වී අලෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලේ පළමුවන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 1984.02.03 වන දින ආරම්‍භ කරන ලදී. 1985 වර්ෂයේ ඒ 9 පාරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිකර එහි කාර්යාලයන් ක්‍රියාත්මක වෙමින් පැවතුනේය.ඓතිහාසික වැදගත්කමකින් යුතු උරුත්තිපුරම් ශිවන් කෝවිල පුලියම්පොක්කනෛ නාගතම්බිරාන් කෝවිල, මන්නිත්තලෙයි ශුද්ධ වූ අන්තෝනි මුනිදු කිතුණු දේවස්ථානය, පාලයිතිවු ශුද්ධ වු අන්තෝනි මුනිදු දේවස්ථානය පොන්නාවේලි ශිවන් කෝවිල හා පුනකර් ඕලන්ද කොටුව ආදිය සැලකේ.ස්වාභාවික සම්පත් වන ඉරණමඩු වැව, චුණ්ඩික්කුලම් පක්ෂි අභය භූමිය , කෞදාරිමුනයි මුහුදු වෙරළ ආදිය පිහිටා ඇත. මෙම දිස්ත්‍රිත්කය දළ වශයෙන් වර්ග කිලෝ මීටර් 1237.11 බිම් කොටසකින්ද , වර්ග කිලෝ මීටර 44.3ක අභ්‍යන්තර ජල ප්‍රදේශයන්ගෙන්ද සමන්විත ව පිහිටා තිබේ. මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන රැකියාව කෘෂිකර්මාන්තය වේ. බහුතරයක් වී ගොවිතැනෙහි නිරත ව සිටින අතර, අනෙක් පිරිස් උප ආහාර භෝග වගාව, පළතුරු වගාව, ගව, එළු කුකුල් වැනි සත්ව පාලන රැකියාවන්වල ද යෙදී සිටිති. ඒ සමග ධීවර කර්මාන්තය දෙවැනි ස්ථානය ලගා කරගෙන මෙම ජනතාවගේ ජීවනෝපායට සහය වේ. කිළිනොච්චි දිස්ත්‍රික්කයේ වාරිමාර්ග හා කෘෂිකර්ම වර්ධනය සලකා බැලීමේ දී, ඉරණමඩු වැව හා වාරිමාර්ග ව්‍යාපෘතිය ද ප්‍රධාන තැනක් ගන්නා අතර කිළිනොච්චියේ ජීවත් වන ජනතාවගේ ප්‍රාණය ලෙස ද පවතී. දිස්ත්‍රික්කයේ පදිංචි ව සිටින ගොවි පවුල් 21208 ක් ගොවි පවුල් 9495 ක් ඉරණමඩු ව්‍යාපෘතිය යටතේ ගොවිතැන් කටයුතු වල නිරත වන අයවලුන් වන අතර මෙය දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ගොවිපවුල් සංඛ්‍යාවෙන් 40% ක් වේ. තව ද ඉරණමඩු වාරිමාර්ග ව්‍යාපෘතියේ වී වගාව පමණක් නොව උප ධාන්‍ය වගාවන් වන කවුපි, උදු, මුං වැනි දෑ ද වගා කර කෘෂිකර්මයෙන් සපිරි ස්ථානය කරා ගෙනයමින් කිළිනොච්චි දිස්ත්‍රික්කය දියුණු මාර්ගයක ගමන් කිරීම දැක ගත හැකි ව තිබේ. තව ද වැව් 464ක් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරමින් පවතී.

කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

මෙය වෙරළ තීරයේ දිස්ත්‍රික්කයක් වන බැවින්, මුහුදු සම්පත් ප්‍රධාන සම්පතක් වශයෙන් දක්නට ලැබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08ක් ඇතුලත්ව ග්‍රාම නිලධාරී වසම් 76ක්ම පිහිටා ඇත්තේ වෙරළ තීරුවේය. මෙය වර්ග කි.මි.119.43 වේ. මෙම කළාපයේ ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායෙන් එකක් ලෙස කරදිය ධීවර කර්මාන්තය දක්වති. එසේම දිස්ත්‍රික්කයේ නමට ගැලපෙන සේ කල්ලාරු සිට වාලච්චේනයි දක්වා වර්ග කි.මී.229.19ක අන්තර් ජලයෙන් සමන්විත ඉතා දිගු කලපුවක් පිහිටා ඇති අතර, මෙය දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 8.70% වේ. මඩකලපුව පැරණි වරාය නගරයක් ලෙස තිබුනු අතර, මෙහිදී භාවිතා  කරනු ලැබු ක්‍රේන් යන්තු තවමත් ගාන්ධි උද්‍යානයේ කලපුව අසල දැකගැනීමට හැකිය. පාසිකුඩා වෙරළ රැළි නැති සුප්‍රසිද්ධ වෙරළ තීරයක් වන අතර, මෙය ශ්‍රී ලංකාවේ දේශිය හා විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම වැදගත් සංචාරක ස්ථානයක් වේ. දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෘත්තියක් වන කුඹුරු වගාවට සුදුසු රොන්පස සංයුක්තය දිස්ත්‍රික්කයේ බටහිර දිසාවේ දක්නට ලැබේ.මෙය දිස්ත්‍රික්කයේ ස්වයංපෝෂිත වීමට හා හාල් නිෂ්පාදනය කරන ප්‍රධාන දිස්ත්‍රික්කයක් වීමටත් හේතුවක් වී ඇත.

මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

හෙක්ටයාර් 205,978ක් වු ඉඩම් ප්‍රමාණයක්  හා හෙක්ටයාර් 19280 ක් තරම් භුමි භාගයකට යට වු අභ්‍යන්තර ජල තටාක වලින් සමන්විත වූ අම්පාර දිස්ත්‍රික්කයේ  සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන ත්‍රිවිද ජාතීන්ම ජිවත් වේ. උතුරින් පොළොන්නරුව හා මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත් නැගෙනහිරින් ඉන්දීයන් සාගරයටත් දකුණින්  හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක වලටත් බටහිරින් බදුල්ල හා මාතලේ යන දිස්ත්‍රික්ක වලටත් මායිම් වන අම්පාර දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණයක් වර්ග කි.මි.4415කි. අම්පාර ආගමික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ ඓතිහාසික වටිනාකමක් සහිත දිස්ත්‍රික්කයකි. පියංගල, බුද්ධංගල වැනි ආරණ්‍ය සේනාසන ද රජගල, දිඝවාපිය, මඟුල් මහ විහාරය, මුහුදු මහ විහාරය, නීලගල සෑය හා කූඩුම්බිගල වැනි පුරා විද්‍යා වටිනාකමක් ඇති ආගමික සිද්ධාස්ථාන ද ඒ අතරින් වැදගත් තැනැක් ගනී. එසේම මහඔය හා පදියතලාව ප්‍රදේශවල ඇති උණු දිය උල්පත් ආරුගම්බේ මනරම් මුහුදු වෙරළ තීරයත් කතරගම වන්දනා කරන බැතිමතුන්ගේ පාද  චාරිකාවේ යෙදෙන මාර්ගයත් පිහිටා තිබීම මෙම ප්‍රදේශයට සංචාරකයින්ගේ පැමිණීම වැඩි කරවන සාධක වේ. එසේම දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ලැබෙන (පොල්ලේබැද්ද, හේනානිගල) ආදී වාසී ගම්මානද පැවතිම වෙනත් දිස්ත්‍රික්කවලට වඩා වෙනස් වු සංස්කෘතියක දායාදයක් ලැබීම මෙම දිස්ත්‍රික්කය අතිශයින් මනරම් වූ දිස්ත්‍රික්කයක් විමට හේතු වේ. එසේම අම්පාර දිස්ත්‍රික්කය කල්මුණ මහ නගර සභාව, අම්පාර නගර සභාව ඇතුළුව නාමල්ඔය, උහන, දමන, මහඔය, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, ලාහුගල. සම්මන්තුර, අක්කරපත්තුව, අඩ්ඩාලචේන, ආලයඩිවෙම්බු, තිරුක්කෝවිල්, නාවිදන්වේලී, එරගම, නින්දවුර්. කාර්තිව් හා පොතුවිල් යන ප්‍රාදේශීය සභා 17කින් සමන්චිත වන සේ සංවිධානය වී ඇත.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

දිගු ඓතිහාසික පසුබිමක් ඇති, ස්වභාවික වරායකින් යුතු, වෙළඳ, කෘෂිකාර්මික හා ධීවර වැනි ආර්ථික කටයුතුවලින් පිරිපුන් එමෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් අනුන ස්ථානවලින් සමන්විත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි  දිස්ත්‍රික්කයකි. එය උතුරින් මුලතිවු දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සහ දකුණින් මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් ද මායිම්ව පිහිටා තිබේ. ත්‍රිකුණාමලය ඉතිහාසය ස්මරණය කිරීමට අපහසු අතීතයක් දක්වා දිව යන්නකි. ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ප්‍රකට ඉතිහාස ග්‍රන්ථ දෙකක් වන මහාවංශය හා චුලවංශය ‘ගෝකණ්ණ’, ‘ගෝකර්ණ’,සහ ‘ගෝණගාමක’ ලෙස ත්‍රිකුණාමලය හදුන්වා ඇත. නැගෙනහිර පළාතේ පිහිටි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වර්ග කි.මි. 2,728.8 ක් පුරා විහිද ඇත.එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක් හා ග්‍රාමනිලධාරී කොට්ඨාශ 230  කින් සමන්විත වේ. කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම්ය.වී වගාව ප්‍රධාන කෘෂි බෝගයයි.කන්තලේ වැව, වෙන්ඩ්‍රාස වැව, මොර වැව මහා දිවුල් වැව සහ පරවිකුලම එහි ප්‍රධාන වැව් කිහිපයකි. එමෙන්ම කන්තලේ, අල්ල කන්තලේ සහ මොරවැව ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපෘති තුනකි. පශු සම්පත් හා ගව පාලනය තවත් ප්‍රධාන ජීවනෝපායකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ලොව පතළ වෙරළ තීරයකින් සහ සංචාරක ස්ථානවලින් සමන්විත වීම නිසා සංචාරක කර්මාන්තය ද ආර්ථික වශයෙන් දිස්ත්‍රික්කය තුල වැදගත් කාර්යයක් ඉටු කරනු ලැබේ. තවද උපායමාර්ගික අතින් වැදගත් ස්ථානයක පිහිටීමත්, ස්වභාවිකව පිහිටි වරායත් නිසා ප්‍රීමා ශ්‍රී ලංකා සහ ටෝකියෝ සිමෙන්ති වැනි ජාත්‍යන්තර සමාගම් සිය නිෂ්පාදන හා බෙදාහැරීමේ මධ්‍යස්ථාන ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගෙන පිහිටුවා තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

වයඹ පලාත තුළ පිහිටා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4812.7කි. එනම් හෙක්ටයාර් 481270 කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 කි. ග්‍රාමසේවා වසම් 1610 ක් අයත් වෙයි. දිස්ත්‍රික්කයේ මුළු ගම්මාන සංඛ්‍යාව 4432 ක් වන අතර ජන්ද කොට්ඨාශ 14 කි. දිස්ත්‍රික්කයේ මහ නගර සභා 01 ක් හා නගර සභා 01ක් ඇත. ප්‍රාදේශීය සභා 18 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 6කි. පාසල් 875කි. මෙයින් 28ක් ජාතික පාසල් වෙයි. දිස්ත්‍රික්කයේ මුළු ගුරුවරු සංඛ්‍යාව 20223 ක් වෙයි. සාපේක්ෂ වශයෙන් ගත් කල කුරුණෑගල දිස්ත්‍රික්කය, දිස්ත්‍රික්ක 5 කින් වටවී ඇත. එනම් උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයත්, නැගෙනහිරින් මාතලේ දිස්ත්‍රික්කයත්, දකුණින් ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කත්, බස්නාහිරින් පුත්තලම දිස්ත්‍රික්කයත් වේ. දිස්ත්‍රික්කයේ නිරපේක්ෂ පිහිටීම උතුරු ඛණ්ඩාංක 228-333සහ නැගෙනහිර ඛණ්ඩාංක 104-178 ක් අතර වෙයි. ඓතිහාසික පසුබිම පිළිබඳ කතා කරන විට කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ අන් දිස්ත්‍රික්ක වලට වඩා වැඩි සුවිශේෂී තාවයක්  ගනී. එනම් රාජධානි 4ක් පැවති ලංකාවේ එකම දිස්ත්‍රික්කය ලෙස අභිමානයක් කුරුණෑගලට හිමිව තිබීමයි. පඩුවස්නුවර, කුරුණෑගල, යාපහුව, දඹදෙණිය එම රාජධානීන් වන අතර මෙම රාජධානි යුග වලදී කීර්තිමත් රජවරු රැසක්ම සිටි බවට සාක්ෂි ඕනෑතරම් හමුවේ. දිස්ත්‍රික්කයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 900-2200 අතර වෙයි. ඊසාන දිග මෝසම් සුළං හා නිරිත දිග මෝසම් සුළං හා සංවහන ක්‍රියාකාරීත්වය නිසා ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය ලැබෙන අතර වැඩිම ප්‍රමාණයක් ලැබෙනුයේ නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහය මගිනි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ලාංකික වංශ කථාවේ නිජ භූමිය වු පුත්තලම (තම්බපන්නී) දීර්ඝ ඉතිහාසයක් ඇති භූමිභාගයකි. පුත්තලම දිස්ත්‍රික්කය මුහුදු මට්ටමින් අඩි 300ට අඩු උසකින් පිහිටි බිම් තීරුවකි. උතුරින් කලා ඔයටද, නැගෙනහිරින් කුරුණෑගල දිස්ත්‍රික්කයටද, දකුණෙන් මා ඔයෙන් ද, බටහිරින් ඉන්දියන් සාගර වෙරළ තීරයෙන්ද සීමා වී පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය පිහිටා ඇත. දිස්ත්‍රික්කය තුල වැඩිම දිග කි.මී.120 වන අතර පළල කි.මී.50 පමණ වේ. දිගින් කි.මී.288 ක් වු වෙරළබඩ තීරයෙන්ද අභ්‍යන්තර ජල පෝෂිත ප්‍රදේශ සමඟ ව.කි.මි.3072 භූමි ප්‍රමාණයක් මෙම දිස්ත්‍රික්කයට අයත් වේ. පොල් ත්‍රිකෝණයට අයත් පුත්තලම දිස්ත්‍රික්කය පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන අපනයනය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වයක් දක්වයි. එමෙන්ම අතීතයේ සිට පවතින වාරිමාර්ග පද්ධතිය නිසා වී ගොවිතැන මෙහි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී ඇත.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

බහු ආගමික, බහු භාෂික ජනතාවක් ජීවත්වන අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වව්නියාව, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්කවලින් ද, දකුණින් කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්ක වලින් ද, බටහිරින් පුත්තලම හා මන්නාරම දිස්ත්‍රික්ක හා නැගෙනහිරින් පොළොන්නරුව හා ත්‍රිකුණාමළය යන දිස්තික්කවලින් සමන්විත අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීමාවන් පවතී. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය ප්‍රමුඛ කොට අතිපුජ්‍යත්වයට පත් ඓතිහාසික උරුමයන්ගෙන් යුත් ස්ථාන මෙන්ම මිහින්තලේ රජමහා විහාරය, තන්තිරිමලේ රජමහා විහාරය, අවුකන පිළිමය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැසක් මෙම නගරය තුළ දර්ශනය වන අතර එම පසුබිම දෙස විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජීවෙනෝපාය කෘෂි කර්මාන්තය වන අතර වී ගොවිතැන ප්‍රධාන භෝගය වෙයි. අතිරේක භෝග වශයෙන් සෝයා, බඩ ඉරිඟු, උඳු, තල, ලොකු ළූණු වලින් දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවයන් සපුරා ගනී. මෙයින් බඩබරිගු හා සෝයා භෝගයන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර දීමට කටයුතු කරයි. අහස් දිය හා වාරි පද්ධතිය උපයෝගී කරගෙන වගාවට ජලය සපයා ගනී. වර්තමාන ඉංජිනේරු ක්ෂේත්‍රය පවා මවිත කරවන ඉපැරණි වාරි කළමණාකරණ තාක්ෂණ පද්ධතියකින් හෙබි මෙම දිස්ත්‍රික්කය තුළ කලාවැව, තිසාවැව, නුවරවැව, අභයවැව, නාච්චාදූව, රාජාංගනය හා පදවිය ඇතුළුව ප්‍රධාන වැව් 12 කින්ද, මධ්‍ය වැව් 85කින් ද, සුළු වැව් 2974කින් ද, වාරි පද්ධතිය සමන්විත වේ. ඉතා කුඩා  පරිමාණයේ වැව් රාශියක් ද ඇත. අනුරාධපුර දිස්ත්‍රිකයේ ජනගහනය 856232ක් වේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාද්විපයේ දෙවන රාජධානිය ලෙසින්, පැරකුම් රජු දවස සිට සිරිලක සහලින් ස්යවංපෝෂිත කළ ඓතිහාසික පොළොන්නරුව පුරවරය අද වන විට ප්‍රාදේශිය ලේකම්  බල ප්‍රදේශ 07කින් සහ ග්‍රාම නිලධාරී වසම් 295කින් සැඳුම්ලත්, ආර්ථික මෙන්ම සෞන්දර්යාත්මක සම්පත් රැසකින් හෙබි පුන්‍ය භූමියක් ලෙස දේශිය ආර්ථිකයට දායක වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල කි.මී.216ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භූමියක පිහිටි පොළොන්නරුව වු කලී වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී.3337.9කි. උතුරු අක්ෂාංක 7’40 ‘’-8 ‘21’’ හා නැගෙනහිර දේශාංශ 80’ 44’’ - 81’ 20 ‘’ උන්නතාංශය අඩි 50-500කි. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මාතලේ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වලින් මායිම්ව ඇත. දිස්ත්‍රික්කය පුරා ප්‍රධාන වැව් 04, මධ්‍යම ප්‍රමාණ වැව් 03, වැඩ කරන සුළු වැව් 62, වැඩ නොකරන සුළු වැව් 35 හා වැඩ කරන අමුණු 123 කිනුත් වැඩ නොකරන අමුණූ 6 කිනුත් සමන්විතය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් පාලනය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 කි. එකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 567 ක් ඇති අතර, එම ග්‍රාම නිලධාරි කොට්ඨාශ තුළ ගම් 1996 ක් හා දෙමළ ජනතාව ජීවත් වන වතු(වැවිලි) 186 ක් ඇත. ප්‍රාදේශීය සභා 14ක්, නගර සභා 02 ක් හා මහ නගර සභා 01 ක් මෙම දිස්ත්‍රික්කය තුළ දේශපාලන හා පරිපාලනය හා සම්බන්ධව පවතී. දිස්ත්‍රික්කයේ පවුල් 227,428කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර, එම පවුල් වල මුලු ජනගහනය 811,758 ක් පමණ වේ.මෙම ජනගහනයෙන් 406,623 ක පිරිසක් සේවා නියුක්තව සිටින අතර, සේවා වියුක්තිකයන් සිටින සංඛ්‍යාව (ශ්‍රම බලකායට අයත්) 16,891 කි. බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගෙන් වැඩි පිරිසකගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. එනිසා, අඩු ආදායම් ලබන පිරිස ඉහළ මට්ටමක පවතී. රජයේ සමෘද්ධි වැඩසටහන යටතේ ආධාර ලබන සංඛ්‍යාව 59,273 කට ආසන්න වේ. විශ්‍රාම වැටුප් ලබන පිරිස 17,399 කට ආසන්න වේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

අතීතයේදී වෙල්ලස්ස ලෙස හැදින්වූ මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රීලංකාවේ නැගෙනහිර හා ගිණිකොණ දිශානුගතව ඌව පළාත තුල පිහිටා ඇත.මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 5959 ක් වන අතර ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කය වේ. නිරපේක්ෂ පිහිටීම අනුව උතුරු අක්ෂාංශ 6° 17’ ත් 7° 28’ ත් සහ නැගෙනහිර දේශාංශ 80° 50’ ත් 81° 35’ ත් අතර පිහිටා ඇති ස්වභාවික සම්පත් වලින් අනූන භූමි ප්‍රදේශයකි. මෙම දිස්ත්‍රික්කය නැගෙනහිරින් හා උතුරින් අම්පාර දිස්ත්‍රික්කයෙන්ද බටහිරින් හා උතුරින් බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද දකුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද නිරිත දිගින් රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද මායිම් වී ඇත.මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 කින් හා ග්‍රාම නිළධාරි වසම් 319 කින් ද ගම්මාන 1324 කින් සහ ප්‍රාදේශීය සභා 11 කින් සමන්විත වේ. සමස්ථයක් වශයෙන් මොණරාගල දිස්ත්‍රික්කය දේශගුණික කලාප බෙදීම අනුව අන්තර් මධ්‍ය දේශගුණික කලාපයට හා වියළි කලාපයට අයත්වේ. දිස්ත්‍රික්කයෙන් 70 % ක් පමණ වියළි දේශගුණික කලාපයට අයත් අතර මෙහි විශේෂත්වයක් වන්නේ දිස්ත්‍රික්කය මධ්‍යයේ පිහිටි මරගල කදුවැටිය ආශ්‍රිත ප්‍රදේශය තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ පෙන්වයි. මෙය මෙරට තුල පිහිටි සුවිශේෂී වූ දේශගුණික කලාපයකි. දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1625 ක් පමණ වන අතර දිස්ත්‍රික්කයේ මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස්  26° ක් පමණ වේ.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් පිහිටි රත්නපුර දිස්ත්‍රික්ක‍යේ පිහිටීම, ඓතිහාසික හා භූගෝලීය වශයෙන් එහි වාසය කරන ජනතාවගේ පැවැත්මට හා ආර්ථික වර්ධනයට බෙහෙවින් බලපා තිබේ. උතුරු අක්ෂාංශ 6 සිට 7 අතරද නැගෙනහිර දේශාංශ 80 සිට 81 අතරද පිහිටි රත්නපුර දිස්ත්‍රික්කය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝ මීටර 3275.4කි. මෙම දිස්ත්‍රික්කය උතුරින් කෑගල්ල හා නුවරඑළි දිස්ත්‍රික්කද දකුණින් ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කද බටහිරින් කොළඹ හා ක‍ළුතර දිස්ත්‍රික්කද නැගෙනහිරින් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වලින් මායිම් වී ඇත. දැනට සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව පැරණිතම මිනිසා එනම් බළංගොඩ මානවයා පිළිබඳ පාෂාණභූත ඇටසැකිළි සොයාගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටදොඹලෙන හා බෙල්ලන්බැඳි පැලැස්ස වැනි ස්ථාන වලිනි.අනුරාධපුර යුගයේ ඇතැම් ස්ථාන වලින් ලැබුණු බ්‍රාහ්මී අක්ෂර ගණයට වැටෙන අක්ෂරවලින් යුතු සෙල්ලිපි මෙම ප්‍රදේශයෙන් ද සොයාගෙන ඇති අතර ඇඹිළිපිටිය කල්තොට වැනි ප්‍රදේශවලින් ලැබී ඇති අනෙකුත් නටඹුන් වලින්ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති ඓතිහාසික වටිනාකම පැහැදිලිවේ. මහනුවර යුගය වන විට රත්නපුර දිස්ත්‍රික්කය කෝරළ 6 ට බෙදී තිබූ බව පෙනේ. ඒවා නම් කුරුවිට, නවදුන්, අටකලන්, කුකුළු, කඩවත්මැද හා කොලොන්න කෝරළය වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කොඩිය කසාවත් මුතු පාට කොඩියකි. සබරගමුවේ පුරාණ කොඩියෙන් සකස්කර ගන්නා ලද මෙහි විසිතුරු රතු දාරයක් ද කසාවන් පසුතලයක් ද ඇත්තේය.කසා වර්ණය සමන්තකූඨාධිපති සමන් දිව්‍ය රාජයාණන්ට කැප කරන ලද වර්ණය වේ. දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන පූජණීය ස්ථානය ශ්‍රී පාදස්ථානය වේ. අවුරුද්දේ උඳුවප් පොහොය දිනෙන් ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමය ඊළඟ වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දක්වා පවතී. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල පිරිසක් මෙම කාලය තුල වන්දනාව සඳහා මෙම ස්ථානයට පැමිණෙති. රත්නපුර සමන් දේවාලයද එවැනි ඓතිහාසික වටිනාකමක් ඇති තවත් වැදගත් පූජණීය ස්ථානයකි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

සබරගමු පළාතේ පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයත් නිරිත දිග තැනිතලා ප්‍රදේශයත් අතරමැද පිහිටි රමණිය පරිසරයකින් යුත් බිම් ප්‍රදේශයකි. රුහුණු, මායා, පිහිටි යන ත්‍රි සිංහලයෙන් මායා රටට අයත් ප්‍රදේශයකි. පරිපාලනමය වශයෙන් දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට බෙදා දක්වා ඇත. කෑගල්ල දිස්ත්‍රික්කය උතුරු අක්ෂාංක 6.50 -7.20 සහ නැගෙනහිර දේශාංක 80.10ත් 80.35ත් අතර පිහිටා තිබේ. උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද, දකුණින් රත්නපුර දිස්ත්‍රික්කයද, නැගෙනහිරින් මහනුවර සහ නුවරඑළිය  දිස්ත්‍රික්ක වලින්ද, බටහිරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලටද මායිම් වේ. කි.මී 48ක් වු උතුරු දකුණු විහිදීමකින් ද යුත් මෙම ප්‍රදේශය ව.කි.මි.1692.8(ව.සැ.645)ක විශාලත්වයකින් යුක්ත වේ. ශ්‍රීලංකා ඉතිහාසයේ දේශපාලන ආර්ථික, සමාජීය, ආගමික හා සංස්කෘතික තොරතුරු විමසා බලන විට කෑගල්ල දිස්ත්‍රික්කය දෙවනි වනුයේ අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට පමණි. ශ්‍රී ලංකාවේ හොඳම මිනිරන් නිධිය කෑගල්ල දිස්ත්‍රික්කයේ බෝගල පිහිටා ඇත. කෑගල්ල දිස්ත්‍රික්කය නිරිත දිග තෙත් කලාපයට අයත් වන අතර අධික වර්ෂාපතනයක් සහ අධික සුර්යතාපයක් ලැබෙන ප්‍රදේශයකි. මෝසම්, සංවහන හා වාසුළි මඟින් වර්ෂාව ලැබෙන බැවින් වර්ෂය පුරා ව්‍යාප්ත වු වර්ෂාපතන රටාවක් දැකිය හැකිය

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසීමට

FaLang translation system by Faboba