emergancycontact

2020 දෙසැම්බර් 26-ජාතික සුරක්ෂා දිනය

21 වැනි සියවස ආරම්භයේදීම ජාතියක් ලෙස අප මුහුණ දුන් අතිශය වේදනාකාරී සහ කුරිරුම අත්දැකීම වූ 2004 දෙසැම්බර් 26 සිදු වූ සුනාමි ව්‍යසනය සිදු වී අදට 16 වසරකි.

කිසිදු තාක්ෂණයක් හමුවේ පාලනය කර ගත නොහැකි වූ විධිමත් ආරක්ෂක පියවරක් අනුගමනය කිරීමට ඉඩ නොතබාම දිවයිනේ වෙරළ භූමියෙන් තුනෙන් දෙකකට වැඩි කොටසකට අවතීර්ණ වූ සුනාමි රළ පෙළ 26000 කට ආසන්න ජීවිත ප්‍රමාණයක් බිලි ගන්නා ලදී.

අනපේක්ෂිත ස්වභාවික විපත් මෙන්ම කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් මත සිදුවන ආපදාවන් ද කල් ඇතිව මැඩ පැවැත්වීමේ හැකියාව අවම වුවද ආපදාවට මුහුණ දීමේ සහ එය නිසිපරිදි කලමනාකරණය කරගැනීම සදහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව රටට පෙන්වා දුන් සුනාමි ව්‍යසනය විපතකදී ජාතියක් ලෙස එකමුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබීය.

ස්වභාවික සම්පත් සම්බන්ධ රීතීන්ට ගරු කිරීම,පාරිසරික සාධක නිසිපරිදි සංරක්ෂණය කිරීම ආදිය තුළින් ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමේ පූර්ව සංවේදිතාවක් ඇති කර ගත හැකි යැයි විශ්වාස කරන අතර, ඒ තුළින් පසු හානි සහ උපද්‍රව අවම කරගත හැක.ඒ සදහා අප සියලු දෙනාටම නොසලකා නොහැරිය යුතු පුරවැසි වගකීමක් ඇති බව සිහිපත් කරමි.

රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත් වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෙන්ම වගවීම අතිගරු ජනාධිපතිතුමා විසින් "සෞභාග්‍යයේ දැක්ම" තුළින් නිසිපරිදි තහවුරු කර ඇති අතර විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද එම වගකීම නිවැරදිව ඉටුකර සුරක්ෂිත රටක් ගොඩනැගීමට අප කැප වී සිටින්නෙමු.

අදට යෙදී ඇති ජාතික සුරක්ෂා දිනය කොවිඩ් 19 වසංගතය හමුවේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සැමරීමට කටයුතු යොදා ඇති අතර, 2004 දෙසැම්බර් 26 දින සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලුම දෙනාටම නිවන් සුවය පතන අතරම සිය ආදරණීයන් අනපේක්ෂිත ලෙස අහිමිවීමෙන් අදටත් පීඩා විඳින සියලුම දෙනාට අප අමාත්‍යාංශයේත් අප රජයේත් ශෝකය පළ කර සිටිමු.

චමල් රාජපක්ෂ

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක,ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය
රාජ්‍ය ආරක්ෂක ,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

FaLang translation system by Faboba